Search

Search YK Vehicle Technology

Wednesday 15 December 2021

Car Review – ටොයෝටා විට්ස් 2018 (Toyota Vitz)

 

Lifie Car Review – ටොයෝටා විට්ස් 2018 (Toyota Vitz)

අද අපි කතාකරන්න තෝරාගත්තේ ටොයෝටා සමාගමේ හොඳ නමක් දිනාගත්තු වාහනයක් ගැන. ඒ තමයි ටොයෝටා විට්ස්. අපි ඉස්සෙල්ල පොඩ්ඩක් මේ වාහනේ ඉතිහාසය ගැන කතා කරලා ඉමු. මෙහෙම වාහනයක් කරළියට එන්නේ 1999 අවුරුද්දේ  Sotiris Kovos කියන ඩිසයිනර් ගේ නිර්මාණයක් විදිහට. 1999 ඉඳලා 2005 වෙනකන් මේකේ පළවෙනි පරම්පරාව මාර්කට් එකට ආවා. මේක ලංකාවට විට්ස් උනාට වෙන වෙන රටවල් වල යාරිස් (Yaris), එකෝ (Echo) කියන නම් වලිනුත් මාර්කට් වෙනවා. ඉතින් ජපානයේත් ලොකු පෙරලියක් කරපු මේ වාහනේ එම වසරේ Car of the Year, Japan සම්මානයටත් පාත්‍ර වෙනවා. 2005 දී මේකේ දෙවෙනි පරම්පරාවේ මොඩල් එක නිපදවන්න පටන් ගන්නවා. අපිට පුරුදු විට්ස් එකේ පෙනුම තියෙන්නේ මේ කාර් එකට තමයි. ඊටත් පස්සේ 2011 දී මේකේ තුන් වෙනි පරම්පරාවේ වාහන එළිබහින්න පටන් ගන්නවා. ඉතින් අද කතා කරන විට්ස් 2018 මොඩල් එකත් විට්ස් එකේ තුන් වෙනි පරම්පරාව නියෝජනය කරනවා. දැන් අපි රිවීව් එක පැත්තට හැරෙමු. 

 

 

1. ඔප්ෂන්ස් (OPTIONS)? 

සාමාන්‍ය ෆුල් ඔප්ෂන් වාහනයක් වගේම Power SteeringPower Shutters, Power Mirrors , Winker Mirror, Central Locking, Rear Wiper, මල්ටි ෆන්ෂන් ස්ටියරින්ග් වීල් එක, කෘස් කොන්ට්‍රෝල් සිස්ටම් කියන ඔප්ෂන් සියල්ල එක්ක 2018 මොඩල් එකට ඇතුලත් කරපු අමතර ඔප්ෂන් කිහිපයකුත් දකින්න පුළුවන්. ඊට අමතරව ග්‍රේඩ් එක වැඩි මොඩල්ස් වලට විශේෂයෙන් එකතු කරපු ඔප්ෂන් එහෙමත් තියෙනවා. ඉතින් පාරිභෝගිකයා ගෙවන මුදලට වැඩි වටිනාකමක් එකතු කරන්න මේ පොඩි පොඩි දේවල් ගොඩක් වැදගත් වෙලා තියෙනවා. කෙටියෙන් කිව්වොත් Lane Departure warning, Pre Collision Warning, Push Start, Sensory Radar Brake System, Bottle Holders වගේ දේවල් තමයි ඒ. අනිත් එක Alloy Wheel එන්නේ නෑ ලංකාවට ගෙන්නන ගොඩක් මොඩල්ස් වල. තව දෙයක් තමයි, මැනුවල් A/C කොන්ට්‍රෝල් සිස්ටම් එකක් තමයි මේ වාහනේ එක්ක එන්නේ. හැබැයි ඉහළ ග්‍රේඩ් මොඩල්ස් වල ඩිජිටල් A/C කොන්ට්‍රෝල් සිස්ටම් එකක් එනවා. A/C Ventilation Holes වල පෙනුමත් වෙනස් වෙලා තියෙනවා සාධනීය ආකාරයට.

 

 

2. ආරක්ෂාව?

මේ වාහනේ මෙච්චර කල් ආපු ඩුවල් එයාර් බෑග් සිස්ටම් එක වෙනුවට එයාර් බෑග් 4ක් එකතු කරලා තියෙනවා ආරක්ෂාව වැඩි කරන්න. ඒකෙත් ඉහළ ග්‍රේඩ් වලට එයාර් බෑග් 8ක් එක්ක එනවා. ඒ වගේම ABS බ්රේක් සිස්ටම් එකක්, ඉහතින් සඳහන් කරපු Lane Departure warning එහෙමත් එකතු කරලා තියෙන්නේ Safety Package කියන මොඩල් එකට. Safety මොඩල් එකටම Toyota Safety Sense කියන Collision Avoidance සිස්ටම් එක සහ ඔටෝ බ්රේක් සිස්ටම් එකක් ඇතුලත් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ජපන් වාහනයක් ගන්න කෙනෙක් බලාපොරොත්තු වෙන ආරක්ෂක විදි විධාන මේ වාහනේටත් ඇතුලත් කරන්න ටොයෝටා ආයතනය කටයුතු කරලා තියෙනවා. ඉතින් ආරක්ෂාව කියන පැත්ත සාපේක්ෂව සතුටුදායකයි කියන එක තමයි අපිට කියන්න පුළුවන් වෙන්නෙ. ආරක්ෂාව සම්බන්ධව කතා කරද්දී EURO NCAP ටෙස්ට් එකත් ඉතා වැදගත්. European New Car Assessment Program කියන එකේ කෙටි යෙදුම තමයි ඒ. ඉතින් විට්ස් එක මේ ටෙස්ට් එකෙන් තරු පහෙන් පහම ලබාගෙන තියෙනවා. එකත් ආරක්ෂාව ගැන හිතන කෙනෙක්ට වැදගත් දෙයක් වෙයි.

 

 

3. තෙල් කාර්යක්‍ෂමතාව?

ටොයෝටා සමාගමෙන් කිව්වට මේ වාහනේ (1000cc) ලීටරයකට කිලෝමීටර් 30කට වඩා වැඩ කරනවා කියල ලංකාවේදී ඒ තරම් කාර්යක්ෂම නැහැ. ඒ කියන්නේ 16-17 වගේ තමයි ලංකාවේ පාරවල් වල තෙල් වැඩ කරන්නේ. එක ඉතින් සාමාන්‍ය හයිබ්‍රිඩ් නොවන වාහනේකට හොඳ අගයක් කියල කියන්න පුළුවන්. 

 

 

4. එන්ජින් එක?

මේ වාහනේ එන්ජින් වේරියන්ට්ස් කීපයක්ම තියෙනවා. 1.0, 1.3, 1.5, 1.8 කියන්නේ ඒ මොඩල්ස් ටික තමයි. ඒ උනාට ලංකාවට ගොඩක්ම ගෙන්නන්නේ 1.0 එන්ජින් එක සහිත මොඩල් එක. මේ වාහනේ හයිබ්‍රිඩ් මොඩල් එකකුත් තිබ්බට, ලංකාවේ දකින්න නැති තරම්. ඔටෝ මැනුවල් මොඩල්ස් දෙකම තිබ්බට එකෙත් ලංකාවට ගේන්නේ ගොඩක්ම ඔටෝ මොඩල් එක. මැනුවල් එකත් ලංකාවේ දකින්න නැති තරම්. ඉතින් මේක සිලින්ඩර් තුනේ එන්ජින් එකක් නිසා සාමාන්‍ය ටොයෝටා වාහනේකට වඩා එන්ජින් එකේ සද්දේ වැඩි වගේ කියන්න වෙනවා. ඒත් ඒක සාමාන්‍ය දෙයක්. 

 

 

5. පිටත පෙනුම?

මේ වාහනයේ පිටත පෙනුම ඩිසයින් කරලා තියෙන්නේ Katamaran නාවික යාත්‍රාවක පෙනුම පාදක කරගෙන කියල තමයි සඳහන් වෙන්නෙ. ඒ හැඩය වාහනයේ ඉස්සරහ වගේම පිටිපස්සේත් දකින්න පුළුවන්. ඒ නිසා මේ වාහනේ සැබෑ පෙනුමට වඩා වැඩි විශාල පෙනුමක් ලැබිල තියෙනවා. හෙඩ් ලයිට් සහ ටේල් ලයිට් සාමාන්‍ය විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් ඉහළ ග්‍රේඩ් වල, හෙඩ් ලයිට් සහ ටේල් ලයිට් පැනල් එකේ අලුත් LED ඩිසයින් එකක් තියෙන්නේ. විශේෂම දෙයක් තමයි අනෙකුත් ටොයෝටා වාහන වලට ආපු වයිපර් ආර්ම් දෙක වෙනුවට Double arm Single Wiper එකක් මේ වාහනේට යොදාගෙන තියෙනවා. එකෙන් වින්ඩ්ස්ක්‍රීන් එකේ ගොඩක් ලොකු ප්‍රදේශයක් ආවරණය වෙනවා. ඒක ඉතා හොඳ දෙයක්.  

 

 

6. ඇතුලත පෙනුම?

ඇතුලත හොඳ සුඛෝපභෝගී පෙනුමක් එකතු කරන්න ටොයෝටා ආයතනය උත්සාහ කරලා තියෙනවා. ඒක එක පාරටම තේරුම් යනවා ඉස්සරහ දොර ඇරපු ගමන් ඇහැ යන A/C Vent කවුළු නිසා. කලින් මොඩල්ස් වලට ගොඩක්ම සමාන මීටර් පැනල් එකක් තමයි පහල ග්‍රේඩ් වලට එන්නේ. ඒත් ඉහළ ග්‍රේඩ් වලට මල්ටි ඉන්ෆෝ ඩිස්ප්ලේ එකක් එනවා. ඉස්සරහ ආසන වලට විතරක් නෙමෙයි පිටුපස ආසන වලටත් Adjustable Head Rest තියෙනවා. නමුත් පිටිපස්සේ තුන්දෙනෙක්ට හෙඩ් රෙස්ට් ලබාදීලා තිබ්බට තුන්දෙනෙක්ට පහසුවෙන් යන්න තරම් ඉඩක් නෑ. එක අඩුපාඩුවක්. 

 

 

7. මි​ල?

මේ වාහනය ලංකාවේදී ලක්ෂ 42 ඉ​ඳල ලක්ෂ 45 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. තමන්ට අවශ්‍ය එන්ජින් ධාරිතාවය, අවශ්‍ය ඔප්ෂන් සහ ග්‍රේඩ් එක අනුව මිල අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි මේ මිලට මේ ඔප්ෂන් එක්ක ගන්න තව ටොයෝටා වාහන මොඩල්ස් දෙකක් වගේ තමයි තියෙන්නේ. ඒත් විට්ස් එකට යනවට වඩා වෙන බ්‍රෑන්ඩ් වලින් තව හොඳ වාහන මාර්කට් එකේ තියෙනවා. ඉතින් දෙපාරක් හිතන්න වෙන ලකුණු තමයි තියෙන්නේ ගන්න කලින්. ටොයෝටා වාහන වලට තදින්ම ඇලුම් කරන වාහනයේ පෙනුම ගැන හිතන කෙනෙක්ට නම් මේ වාහනේ මරු.

0 comments:

Post a Comment